දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බව තීන්දු වෙයි

අභාවප්‍රාප්ත ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

ඔහුගේ මරණය බෙල්ලේ සහ මුහුණේ ප්‍රදේශවලට එල්ල වූ පීඩනයකින් සිදු වූවක් බවට මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ 5 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලය නිගමනය කළ බව අධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

විද්වත් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ අනෙකුත් විමර්ශන වාර්තා මත පදනම්ව කොළඹ මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දු කළාය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කරනු ලැබුවා.

52 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් 2022 දෙසැම්බර් 15 වන දින බොරැල්ල කනත්තේදී ඔහුගේ මෝටර් රථයේ රියදුරු අසුනේ ගැට ගසා සිටියදී සොයා ගන්නා ලද අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුදා මිය ගියා.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය බොරැල්ල පොලිසිය සමඟ එක්ව පරීක්ෂණ ආරම්භ කරනු ලැබූ අතර එහි තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ලැබුවා.