කාසල් රෝහලේ සය නිවුන්දරු උපතක්

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන් පිරිමි සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙන බව රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කරනවා.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබමින් සිටින අතර බිලිඳුන් සියලුදෙනාටම කෘතිම ස්වසනය ලබා දෙමින් පවතින බවයි ඔහු පවසන්නේ.

මේ එහි දී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400 – 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා. 

මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.”