ඊශ්‍රායල පලස්තීන ගැටුම්වලින් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යයි

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට වාර්තා වනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එම මරණය තහවුරු කළ අතර එම කාන්තාව අනුලා ජයතිලක ලෙස හඳුනාගෙන ඇති බව පවසනවා.

එසේම ඇයගේ දේහය දින 2ක් ඇතුළත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර ගැනීමට නියමිත බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊශ්‍රායල-ජෝර්දාන් දේශසීමාවේ දී තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවත්, එම කාන්තාවන් දෙදෙනා සොයා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත් ඔහු මෙහි දී අනාවරණය කරනු ලැබුවා.

අතුරුදන් වූ බවට වාර්තා වන ශ්‍රී ලාංකිකයන් හඳුනා ගැනීම සඳහා ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස රතු කුරුස සංගමය හමාස් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ අතර, ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඊජිප්තු තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙන්නේ.

පලස්තීනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ තානාපතිවරයා දන්වා ඇත්තේ රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි