ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙන අලුත් ක්‍රමය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කරන නව ප්‍රතිසංස්කරණ යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු දීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ළමයින් හතර පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිටිමින් කරන ලද ක්‍රියාකාරකම් හරහා ද යම් ලකුණු ප්‍රමාණයක් විභාගය සඳහා එකතු වන බවයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මව්පියන්ට අසීරුවෙන් ළමයින්ව උපකාරක පන්ති යැවීමට සිදු වේ නම් පාසලක් තිබීමෙන් ඵලක් නොවන බවයි.

එසේම අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් 1500 ක් පමණ රැස්කර දේශනා පැවැත්වීමෙන් සාර්ථක කර ගත හැකි ක්‍රියාවලියක් නොවන බවත්, එය දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා සහ නිපුණතා සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.