ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගෙන් පැරණිතම සහ විශාලම හමුදාව වන යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝම්බර් 10 වන දා ස්ථාපිත කර තිබෙනවා.
1971 මෙන්ම 1987-89 කෝලාහල සමයේ මෙන්ම 30 වසරක් පුරා පැවති කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමෙහි ලා ද විශාල සේවයක් කළ හමුදාව මේ මොහොතේ ද ගංවතුරින් පීඩාවට පත්ව සිටින මිනිසුන්ට සහන සලසමින් ක්‍රියාත්මක වනවා.
මෙම සංවත්සරයට සමගාමිව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇත.

