අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයාබලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔවුනට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව සපයාදෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදු වුවහොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ද ස්ථානගත කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

