රජ පවුලේ වෙබ් අඩවියට රුසියානු සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය රාජකීය වෙබ් අඩවිය වන Royal.UK වෙබ් අඩවියට පසුගිය ඉරිදා දිනයේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රුසියානු හැකර් කණ්ඩායමක් වන Killnet මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.

එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඉරිදා උදෑසන පැය එකහමාරක පමණ කාලයක් වෙබ් අඩවිය ක්‍රියා විරහිතව පැවති නමුත් වෙබ් අඩවියේ දත්ත වලට කිසිදු හානියක් සිදු කිරීමට හැකර්වරුන්ට හැකි වී නැහැ.

සම්ප්‍රදායක් ලෙස බ්‍රිතාන්‍ය රාජකීයයන් විසින් සිය දේශපාලන අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Royal.UK වෙබ් අඩවිය යනු බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රධාන වෙබ් අඩවිය වන අතර එහි රජ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු, විවිධ චක්‍රලේඛ මෙන්ම ඔවුන් ගේ වෙනත් විශේෂ තොරතුරු ද අන්තර්ගත වනවා.