නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කරයි

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, යටියන්තොට සහ කෑගල්ල ප්‍රදේශවලට නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමට ද, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශවලට නිකුත් කර තිබූ පළමුවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දෙවන මට්ටම දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කොලොන්න සහ ඉඹුල්පේ ප්‍රදේශ යන ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප්‍රදේශවලට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති අතර මුලටියන සහ අතුරළිය ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට දෙවන මට්ටමේ සහ ඇල්පිටිය ප්‍රදේශයට පළමු මට්ටමේ නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල ප්‍රදේශයට නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද තවදුරටත් දීර්ඝ කර ඇත.

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල සීතාවක, මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 සඳහා ද වලංගු වේ.