තායිවානයේ නිෂ්පාදිත ප්‍රථම සබ්මැරීනය එළි දක්වයි

චීන ප්‍රහාරයකට එරෙහිව සිය රටේ ආරක්ෂාව ශක්තිමත් කරමින් තායිවානය විසින් එරට නිෂ්පාදිත පළමු සබ්මැරීනය එළි දක්වා තිබෙනවා.

එහි දියත් කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා දින තායිවානයේ Kaohsiung වරාය නගරයේදී එරට ජනපතිනිය Tsai Ing-wen ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඇමරිකානු ඩොලර් බිලියන 1.54 ක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සබ්මැරීනය චීන සාහිත්‍යයේ එන පියාසර කළ හැකි මිථ්‍යා දැවැන්ත මාළුවෙකු වන ‘හයිකුන්’ ලෙස නම් කර තිබෙනවා.

ඩීසල් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙය තවත් පරීක්ෂණ කිහිපයකට භාජනය කර 2024 වර්ෂයේ අග භාගය වන විට නාවික හමුදාවට භාර දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි දී අදහස් දක්වමින් ජනපතිනිය ප්‍රකාශ කළේ අනෙක් රටවල් විසින් තායිවානයට කළ නොහැකි යැයි සලකන ලද දේශීය අවි නිෂ්පාදනය ඔවුන් සිදු කර දැක්වූ බවත්, එම දිනය එරට ඉතිහාසයේ නොමැකෙන දිනයක් වන බවත් ය.

තායිවානය යනු ස්වාධින දූපතක් වන අතර එය යටත් කර ගැනීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ චීනය විසින් යුධ ආක්‍රමණයක් දියත් කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබෙන පසුබිමක මෙම එළි දැක්වීම සිදු කර තිබෙනවා.

මීට අමතරව තවත් එක සබ්මැරීනයක් මේ වන විට නිෂ්පදනය් වෙමින් පවතින බවත්, චීනය විසින් දියත් කරන ලද ආක්‍රමණයක් හෝ වෙනයම් නාවික අවහිරයක් වැලැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා මෙම ආයුධ උපකාර වනු ඇති බවයි සබ්මැරීන වැඩසටහනේ ප්‍රධානී අද්මිරාල් හුවාං ෂු-කුවාං පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.