කළු මුහුද හරහා නව මාර්ගයකින් යුක්‍රේන වරායට ආ නැව්

නව මාර්ගයක් භාවිත කරමින් කළු මුහුද හරහා පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් සෙනසුරාදා යුක්රේනයේ Chornomorsk වෙත ළඟා වූ බව යුක්රේන වරාය බලධාරීහු ප්‍රකාශ කරනවා.

නාවික යාත්‍රාවල ආරක්ෂාව සහතික කිරීම සඳහා රුසියාව සමඟ ඇති කර ගත් ගිවිසුම බිඳ වැටීමෙන් පසු සිවිල් නෞකා යුක්රේන වරායකට ළඟා වූ පළමු අවස්ථාව මෙය බවයි එම නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම නැව් හරහා ටොන් 20,000ක පමණ තිරිඟු ඊජිප්තුවට සහ ඊශ්‍රායලයට යැවීමට කටයුතු කරන බවයි යුක්රේන කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර කළු මුහුදේ වරායන් අවහිර කරමින් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ධාන්‍ය ටොන් මිලියන 20 ක් රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

රුසියාවේ මෙම වැඩපිළිවෙල සියලුදෙනාගේ විවේචනයට ලක් වූ අතර එය ලෝක ආහාර මිල ඉහළ යාමට මෙම යුක්රේනය විසින් ධාන්‍ය අපනයනය කරනු ලබන රටවල ආහාර හිඟයක් ඇති වීමට ද හේතු වූවා.