ලීක් කළොත් වැඩ වරදී – නව නීතිය යටතේ දැඩි දඬුවම්

ප්‍රේම සබඳතා අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ , එම සබඳතා නතරවීමෙන් අනතුරුව ඒ පුද්ගලයට හිරිහැර කිරීමේ අදහසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් නව නීති සම්පාදනය කර තිබෙනවා.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකි වනවා.

එසේම දෙවැනි වරට හෝ නැවත නැවත එවැන්නකට හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමට ද මේ නීති හරහා හැකියාව පවතිනවා.

මෙම නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කර තිබෙනවා.