ආබාධිත සහ මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප අඛණ්ඩව

ත්‍රස්තවාදී යුද්ධයේ දී ඇති වූ ආබාධ හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගිය ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට වයස අවුරුදු 55 දක්වා සහ ඉන් පසුව හමුදා නිලධාරියාගේ සහ ඔහුගේ වැන්දඹුවගේ ජීවිතාන්තය දක්වා දීමනා ගෙවීමට අවශ්‍ය කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර තිබෙන බව වාර්තා වෙනවා.

නමුත් දැනට පවතින ක්‍රියා පිළිවෙල අනුව වයස අවුරුදු 55ට පෙර ආබාධිත සේවා නිලධාරියෙකු මිය ගියහොත්, වැන්දඹු බිරිඳ ඉහත දීමනාව සඳහා හිමිකම් දැරීමට නම්, මරණයට හේතුව ආබාධිතභාවයේ සෘජු ප්‍රතිඵලයක් බව වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කළ යුතු වෙනවා.

ඒ අනුව ආබාධිත සේවා නිලධාරියෙකු වෙනත් හේතුවක් නිසා මිය ගියහොත් සහ එම මරණය ආබාධිතභාවයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බව වෛද්‍ය මණ්ඩලයට තහවුරු කළ නොහැකි නම්, වැන්දඹුවට හිමි වන්නේ වැන්දඹු හා අනාථ විශ්‍රාම වැටුප පමණි.

මේ හේතුව නිසා විපතට පත් වැන්දඹු කාන්තාවන්ට දීමනාව සහ වැටුප අඛණ්ඩව ලබාදෙන ලෙස ඉල්ලමින් සැලකිය යුතු ඉල්ලීම් සංඛ්‍යාවක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර දැනටමත් ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ නිසා විශ්‍රාමික ආබාධිත සේවා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.