නව දූෂණ විරෝධි පනත ලබන 15 වනදා සිට

ඊයේ සම්මත කර ගන්නා ලද නව දූෂණ විරෝධි පනත ලබන 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය ද ඉදිරියේ දී පළ කිරීමට නියමිත බව යි ඔහු අවධාරණය කරන්නේ.

දැනට පවතින අල්ලස් නීතිය ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයන්ට පමණක් බවත් මෙම නව පනත තුළින් පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව කිසියම් වැරදි තීරණයක් තීන්දුවක් ලබා දී හෝ විවිධ හේතුන් මත නඩු ඉල්ලා අස් කර ගෙන තිබෙනවා නම්, ඒ පිළිබඳ සොයා බැලීමේ පුර්ණ බලය නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා පවසනවා.