පසුගිය දා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධව තම ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු ජනධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රහාරය 2019 නොවැම්බරයේ තමාව බලයට පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කරන ලද්දක් බව චැනල් 4 නාලිකාව විසින් ශ්‍රී ලංකාවට එල්ල කරන ලද නවතම චෝදනාව බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
එහි ඒ මහතා සඳහන් කරන්නේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය අනුගාමිකයෙක් ලෙස චැනල් 4 නාලිකාව විසින් හඳුන්වා දීම නිවැරදි නොවන බවත්, ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු බවත් ය.
එසේම 2015 වසරේ ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසුව තමන් නැවත 2019 වසරේ දී ජනපති ධූරයට පත් වන තෙක් ම තම සහ සුරේෂ් සලේ අතර කිසිදු සම්බන්ධතාවයක් නොතිබූ බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
එසේම 2015-2019 සමයේ ආණ්ඩුව විශේෂෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පවසන හිටපු ජනාධිපතිවරයා එවන් සමයක හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශ හාස්‍යට කරුණක් බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

