මුල් වරට ඩිම්බ සහ ශුක්‍රානු නොමැතිව කෘතීම මිනිස් කලලයක්

මානව ශුක්‍රානු සහ ඩිම්බ මෙන්ම වර්ධනය සඳහා ගර්භාෂයක් ද භාවිතා නොකරමින් මානව කලලයට සමාන ජීවියෙක් වර්ධනය කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කළ The Weizmann ආයතනය පවසන්නේ මූලික සෛල (stem cells) භාවිතයෙන් සකසන ලද මෙය සැබෑ දින 14 ක් වයසැති කලලයකට සමාන වන බවයි.

Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණය සම්බන්ධයෙන් එම කණ්ඩායම සඳහන් කරනු ලබන්නේ ස්වභාවික මානව කලලයේ මතුවන සියලුම ප්‍රධාන ව්‍යුහයන් අනුකරණය කිරීමට හැකි වූ පළමු සම්පූර්ණ කළල ආකෘතිය ලෙසයි.

වෛද්‍ය විද්‍යාවේදී ගර්භණීභාවය පරික්ෂා කිරීම සඳහා නිර්ණායක ලෙස යොදා ගන්නා හෝර්මෝන ද ශ්‍රාවය කිරීමට මෙම කෘතීම කලලයට හැකි වී තිබෙනවා.

මෙලෙස කෘතීම කලල නිර්මාණයේ අරමුණ ලෙස එම විද්‍යාඥයන් දක්වා ඇත්තේ මිනිසුන්ගේ ජිවිතයේ ආරම්භය සම්බන්ධව වඩාත් ගැඹුරින් සොයා බලමින් ගබ්සා වීම් සහ උපත් ආබාධ වලට පිළියම් සෙවීම යි.