මෙවර උසස් පෙළ විභාගය කල් දමන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක්

එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වාලීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා.

‘පාලකයන්ගේ අසමත්භාවය වසා ගැනීමට උසස් පෙළ සිසුන්ගේ අනාගතය බිලිදීම නවතා දමනු’ යන මාතෘකාව යටතේ නිවේදනයක් නිකුත් කරමිනුයි විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.

2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව ගන්නා ලද තීරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙවන වර විභාගයට සුදානම් වීමට සිටින දරුවන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් වඩා අඩු කාලසීමාවක් බවත්, විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවත් ය.