පිංබර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වුණු උතුම් වූ නිකිණි පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

නිකිණි පොහෝ දිනයේ සිදු වූ සුවිශේෂී ම සිදු වීම ලෙස පළමු ධර්ම සංගායනාව ආරම්භ කිරීම සැලකිය හැකි වෙනවා.

එය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත්ත රජුගේ අනුග්‍රහය ඇතිව, මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ඇතුළු 500 ක් මහා රහතන් වහන්සේලා විසින් රජගහ නුවර වේහාර පර්වතයේ සත්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට දී සිදු කරනු ලබුවා.

ධර්ම සංගායනාව සඳහා රහත් හිමිවරු පමණක් සහභාගී වන හෙයින් මහත් විර්යය ඇති කර ගනිමින් භාවනා කළ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන් සියලු කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට පත් වන්නේ ද නිකිණි පොහෝ දින අලුයම් කාලයක වෙන්වා.

එසේම බුදුරජාණන් වහන්සේ ගේ ගිහි කල පුත්‍රයා වන රාහුල හාමුදුරුවන් ද බුදුරජාණන් වහන්සේගෙන් රාහුලෝවාද සූත්‍රය අසා රහත් භාවය ලබා ගන්නේ ද මේ නිකිණි පොහෝ දිනයක වෙන්වා. බුදුරජාණන් වහන්සේ ගේ 14 වන වස් කාලයේ දී මෙම සිදුවීම සිදු වන අතර එම සූත්‍රය අසා බොහෝ දෙවියෝ ද බ්‍රහ්මයෝ ද නිවන අවබෝධ කර ගත් බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එසේම ඇසළ පොහොය දිනයේ සිදු කරන ලද පෙරවස් සමාදන් වීම සිදු කිරීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා විසින් පසුවස් සමාදන් වීම සිදු කරන්නේද මේ පොහෝ දිනයේ වනවා.

බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිණි පොහොය දිනයේ සිදු වූ ලාංකීය ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර මූලික වෙනවා.

අද දිනයේ ද වෙනදා පොහෝ දිනවල මෙන්ම බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නියැලෙමින් පොහෝ දිනය අර්ථවත්ව ගත කරනවා.

ඉතින් සියලු සත්ත්වයෝ සුවපත් වෙන පිංබර දිනයක් වේවා.!
තෙරුවන් සරණයි.