ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලම බළල් සාමාජිකයාගේ සැමරුම් දිනය අද

ශ්‍රී ලංකාවේ පාරිසරික දින දර්ශනයට අනුව සෑම වසරකම අගෝස්තු මස පළමුවැනිදා දිනය ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමුවෙන විශාලතම බිළාල විශේෂය වන ශ්‍රී ලංකා කොටියා සැමරීම සඳහා වෙන් කර තිබෙනවා.

වන සත්ත්ව සහ ස්වාභාවික ආරක්ෂක සංගමය (WNPS) විසින් කරන ලද යෝජනාවකට අනුව 2019 වසරේ දී ශ්‍රී ලාංකික කොටියා වෙනුවෙන් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ආචාර්ය ශ්‍රියානි මිත්තපාල මැතිනිය විසින් ශ්‍රී ලංකාව තුළ හමුවන මෙම කොටියා ශ්‍රී ලංකාවට ආවේනික බව තහවුරු කරන ලද්දේ ද අගෝස්තු පළමුවෙනි දා දිනයක වීම ශ්‍රී ලංකා කොටියාගේ සැමරුම් දිනය අගෝස්තු පළමුවෙනිදාට යෙදීමට හේතු වී තිබෙනවා.

ලංකා කොටියා යනු වියලි කලාපය, අතරමැදි කලාපය, පහතරට තෙත් කලාපය මෙන්ම ඉහළ කඳුකර ප්‍රදේශ වලත් පුළුල් ලෙස විහිදී ඇති සත්ත්ව විශේෂයක් වෙනවා. Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම විශේෂය මානව වාසස්ථාන තුළ හෝ ඒ අවට නිරීක්ෂණය වන අතර මානව ක්‍රියාකාරකම් වලට අනෙක් කොටි උප විශේෂ වලට වඩා හොඳින් අනුවර්තනය වීමක් පෙන්නුම් කරන බවයි සත්ත්ව විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

කුඩා උරග විශේෂ වල විට මියගිය අලි ඇතුන්ගේ සිරුරු පවා සිය ආහාර ලෙස යොදා ගන්නා ලංකා කොටියාගේ ගහනය මේ වන විට සීඝ්‍ර ලෙස අඩු වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

ඒ සඳහා මානව ක්‍රියාකාරකම් ප්‍රමුඛ හේතුවෙන් වී ඇති අතර දශක කිහිපයක් ඇතුලත මෙරටින් වාර්තා වී ඇති කොටි මරණ සංඛ්‍යාව සියයකටත් අධික වන බවයි සංඛ්‍යාලේඛන වල දැක්වෙන්නේ. එසේම වාර්තා නොවූ කොටි මරණ ද එක වූ විට මෙම සංඛ්‍යාව තවත් විශාල වන අතර එය ශ්‍රී ලංකා කොටියාගේ පැවැත්ම කෙරෙහි බරපතල තර්ජනයක් එල්ල කර තිබෙනවා.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්‍ෂිත විශේෂයක් ලෙස දැක්වෙන කොටියා මේ වන විට වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති විශේෂයකි.

එසේ හෙයින් මෙම සතුන් සංරක්ෂණය සඳහා වූ නීති තවත් පුළුල් කරමින්, ඔවුන්ගේ වාසස්ථාන මෙන්ම ගොදුරු සංරක්ෂණය සඳහා ද පියවර ගැනීම ලංකා කොටියා සංරක්ෂණ වැඩපිළිවෙලෙහි අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි.

ශ්‍රී ලංකාවට සම්පතක් වෙන මෙම කොටියා රැක ගැනීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක් වෙනවා.