පෝලියෝ සහ පිටගැස්ම යළි ව්‍යාප්ත වීමේ අවදානමක්

විවිධ හේතූන් නිසා දරුවන්ට එන්නත් ලබා දීමට දෙමවුපියන් කටයුතු නොකිරීම හේතුවෙන් පෝලියෝ, පිටගැස්ම සහ කක්කල් කැස්ස යන රෝග යලිත් ව්‍යාප්ත වීමට හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවනවා.

දරුවන්ට එන්නත් ලබා දීමේ දී කිසිදු අවස්ථාවක මිත්‍යා විශ්වාසවලට නොරැවටෙන ලෙසත්, නියමිත් වයසේ දී දරුවන්ට අදාළ ප්‍රතිජීවක එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

එසේම එන්නතක ආසාත්මිකතා ඇති වීමේ සම්භාවිතාවය මිලියනයකට එකක් වන අතර, එය ඕනෑම රටක සිදු විය හැකි දෙයක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

තවද එන්නත් නොලද දරුවන් සිටීම කුමන රටක වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර කිහිපයකින් ආපස්සට ගෙන යන බවත්, දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට අමතරව එන්නත් ලබා නොදීම හේතුවෙන් පෝලියෝ, පිටගැස්ම රෝගීන් සඳහාද වාට්ටු විවෘත කිරීමට රෝහල්වලට සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.