ට්‍රැෆික් OIC ගේ යතුරුපැදියට ගිනි තබයි

දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ යතුරුපැදිය ගිනි තබා විනාශ කර තිබේ.

දියතලාව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (18) රාත්‍රියේ තම යතුරුපැදියෙන් දියතලාව නරගය වෙත ගොස් තිබිණි.

එහිදී ඔහු විසින් බීමත් ත්‍රීරෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මෙම නිලධාරීයා විසින් තම යතුරුපැදිය දියතලාව නගරයේ දමා බීමත් රියදුරු විසින් පදවාගෙන එන ලද ත්‍රීරෝද රථය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

ත්‍රීරෝද රථය පොලිස් ස්ථානයේ දමා මෙම නිලධාරියා යතුරුපැදිය රැගෙන ඒම සඳහා දියතලාව නරගය වෙත ගොස් ඇති අතර එහෙත් යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ තිබී නැත.

පසුව අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් සොයාබැලීමක් කර ඇති අතර, එහිදී යතුරුපැදියක් ගල්කන්ද ප්‍රදේශයේ ගිනිගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි.

පසුව ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී මෙම ගිනි ගෙන ඇති යතුරුපැදිය දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.