වෛද්‍යවරු රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය සේවය වසර 05 කින් ආපස්සට යයි

රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැර යෑමෙන් මෙරට සෞඛ්‍ය සේවය වසර 05 කින් ආපස්සට ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

හදිසි ප්‍රතිකාර ඒකක වල සිටින විශේෂඥ වෛද්‍යවරු 30 දෙනාගෙන් 23 දෙනෙක් ද, ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු 29 දෙනාගෙන් 05 දෙනෙක් ද, විදේශ පුහුණුව නිම කර පැමිණි විශේෂඥ වෛද්‍යවරු 08 දෙනාගෙන් 06 දෙනෙක් ද පසුගිය වසර දෙක තුළ දී රට හැර ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත වාර්තා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බවත්, ආර්ථිකයට සරිලන වැටුප්, නිල නිවාස ප්‍රශ්න, ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම ඇතුළු ගැටළු හේතුවෙන් වෛද්‍යවරු මෙලෙස රට හැර දමා යන බවත් එම සංගමය පෙන්වා දෙනවා.