යුක්රේනයට පොකුරු බෝම්බ ලබා දීමට ඇමරිකාව සැරසෙයි

රුසියාවට එරෙහි යුධ ප්‍රයත්නය සඳහා යුක්රේනයට පොකුරු බෝම්බ ලබා දීමට ඇමරිකාව විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොලර් මිලියන 800 ක් වටිනා නව යුධ ආධාර පැකේජයක එක් කොටසක් ලෙසයි මෙලෙස පොකුරු බෝම්බ දහස් ගණන් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.

කුඩා බෝම්බ රාශියක් එකතු කර තැනූ විශාල බෝම්බයක් වන මෙම පොකුරු බෝම්බ ගුවනින් හෝ ගොඩබිම සිට පුපුරුවා හැරිය හැකි වෙනවා.

මෙහි බලපෑම පුළුල් ප්‍රදේශයක් දක්වා පැතිර යන අතර සිවිල් වැසියන්ට බොහෝ තර්ජනයක් විය හැකි වීම නිසා බොහෝ රටවල මෙම පොකුරු බෝම්බ භාවිතය තහනම් කොට තිබෙනවා.