ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අද

ඉස්ලාමීය දින දර්ශනයේ දෙවන ආගමික නිවාඩු දිනය වන ඊද් – අල් – අදා හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

එම දින දර්ශනයට අනුව හජ් සමරනු ලබන්නේ එහි අවසාන මාසයේ දී වන අතර සෞදි අරාබියේ පිහිටි ශුද්ධ වූ මක්කම වෙත ඔවුන් සිදු කරන වාර්ෂික වන්දනා චාරිකාව ප්‍රධාන කොට ගෙන මෙම උත්සවය පවත්වනු ලබනවා.

පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසුව කොළඹ මහ පල්ලිය විසින් අද දින එනම් ජුනි 29 වන දා ශ්‍රී ලංකාව තුළ මෙම උත්සවය සැමරීමට කටයුතු කරන ලෙසට නිවේදනය කළා.

අද දිනයේ ඉස්ලාම් භක්තිකයින් මස්ජිදවලට ගොස් එහි දී විවිධ ආගමික කටයුතු වල නිරත වෙන අතර පසුව පවුලේ අය සමඟ කාලය ගත කිරීම හා අන් අයට උදව් කිරීම ආදී යහපත් ක්‍රියාවල යෙදෙනු ලබනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ ලෙස යි ඉස්ලාම් ආගම දක්වා ඇත්තේ.