ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.
හිටපු ක්‍රිකට් නායක, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම සිද්ධියට අමතරව තවත් ගැටලු රැසක් පවතින බවය.
“රටක් නියෝජනය කරපු ක්‍රීඩකයෙක් හැටියට අපේ දරුවෙක්.. ඒ දරුවාට කොයි විදිහටද ක්‍රිකට් ආයතනයත් එක්ක එකතු වෙලා සහයෝගය ලබා දෙන්නේ කියලා ඇමතිතුමා අද (08) සාකච්ඡා කළේ. ඒ දරුවා කරපු වැරද්ද විතරක් අපි එකපැත්තකින් බලනවා. අනෙක් පැත්තෙන් මේ දරුවා එතනට ගියේ කොහොමද කියන එක හොයන්න ඕනේ.”
“මේ පරණ වැරදි කරපු කෙනෙක් නම් ඒ දරුවාට දුන්න තහනම් අඩු කළේ ක්‍රිකට් පරිපාලනය. අවුරුදු දෙකක තහනමක් යෝජනා කරපු එකක් මාස 6කින් අඩුකරලා තියෙනවා.”
“දැන් බලන්න මම මාධ්‍යයෙන් දැක්කා සමහර ක්‍රීඩකයෝ කැසිනෝවලට ගිහින් තියෙනවා කියලා. ඉතින් එහෙම යන්න අවසර දෙනවාද?.. දැන් ක්‍රිකට් පරිපාලනයට ආපු උප ලේකම්තුමා කිව්වා ඒ අය අවසර දෙන්න එක උත්සවයකට විතරයි කියලා.”
“හැබැයි මම දැක්කා මාධ්‍යයෙන් කිව්වා උත්සව 16කට ගියා කියලා. ඉතින් මේ වාගේ තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ආසියානු කුසලානය ආපු වෙලේ වෙච්ච දේවල් එක්ක මම කිව්වා අනිවාර්යෙන්ම මේ තරගාවලිය අනාගන්නවා කියලා. මොකද මමත් පොඩ්ඩක් ක්‍රිකට් ගහපු පුද්ගලයෙක්නේ.”
“මෙහෙම දෙයක් මගේ කාලේ වෙන්නේ නැහැනේ. ඒ කාලේ විනයක් කියලා තිබ්බානේ.”
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි තරුණියක් ගොනුකළ ලිංගික අතවර චෝදනාවක් හේතුවෙන් එරට පොලීසියේ අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලකට එරට අධිකරණයෙන් ඇප ලබාදීම ප්‍රතික්ෂේපවීම නිසා තවමත් ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
අද දින නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවය.
එම ත්‍රිපුද්ගල කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂන පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන අයගෙන් සමන්විතය.
ක්‍රීඩා අමාතශ්යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පැවසුවේ ධනුෂ්ක ගුණතිලක තවමත් වැරදිකරුවෙක් වී නොමැති බැවින් ඔහුට අවශ්‍ය නීතිඥ සහාය ලබා දෙන බවය.
අද දෙරණ

