දුම්රිය ගාස්තුත් ඉහල දැමීමට අවසර

දුම්රිය ගාස්තු ඉහල දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දුම්රිය මගී ගාස්තුද ඉහල දැමෙනු ඇති. මගී ජනතාවට සහනයක් වන අයුරින් බස් ගාස්තුවෙන් අඩක් වෙන ලෙසට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත්තේ. භාණ්ඩ ප්‍රවාහනය හා තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා එමෙන්ම වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා අය කරනු ලබන දුම්රිය ගාස්තුද ඉහල දැමෙනවා.

එම ගාස්තු ඉහල දැමෙන්නේ වසර 14කට පසුවයි. ඉකුත් සමයේ ඉන්ධන මිල ඉහල යාම මත දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව අවම කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දුම්රිය ගාස්තු ඉහල දැමීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ඉන්ධන මිල ඉහලයාම හමුවේ බස් ගාස්තුද ඉහල දැමෙනවා. ඒ සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර පස්වරු එකට පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.