කටුනායක බෝඩිමක 17කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස්ව අම්බලන්ගොඩ මාදාම්පාගම ගලගොඩ නව ජනපදයේ පිහිටි සිය නිවසට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

බන්ධනාගාරයේ සිට ඔහු නිවසට පැමිණ තිබුණේ ඉකුත් නොවැම්බර් 13 වැනිදා ය.

ඉන් දින 4කට පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව හඳුනාගැනුණි.

මේ හේතුවෙන් ඔහු නිවසේ සිටි කාලය තුළ ඇසුරු කළ ප්‍රදේශයේ නිවාස 13ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ අතර කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් ඇතුළු 57 දෙනෙකු රැඳීසිටින නේවාසිකාගාරයකින් කොවිඩ් -19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා එහිම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමකය.

සිය ඥාතිමිත්‍රාදීන් සමග දීපාවලි උත්සවය සැමරීම සඳහා වැල්ලවත්තේ සිට හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සිය නිවසට පැමිණි 19 හැවිරිදි තරුණයෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනුණි.

ඔහු ඉකුත් 10 වනදා කොළඹ සිට ලංගම බස් රථයකින් හැටන් වෙත පැමිණ තිබූ අතර එතැන් සිට පෞද්ගලික බස්රථයකින් බගවන්තලාව වෙත පැමිණ තිබුණි.

දීපාවලි සැමරීම සඳහා ඥාති නිවෙස් කිහිපයකටම ගොස් ඇති ඔහු මිතුරන් සමග සාදයක්ද පවත්වා ඇතැයි අනාවරණය වූ අතර මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් රැසක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

එමෙන්ම දීපාවලි නිවාඩුව නිමිත්තෙන් මස්කෙළිය ප්‍රදේශයට පැමිණි දෙදෙනෙකුට සහ කොටගල ප්‍රදේශයේ අයෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.