ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක්

කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනයට ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

නව රෙගුලාසිවලට අනුව එරටට රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර, කලාප අතර ගමනාගමනය තහනම් කිරීමටත් අදාළ කලාපවල බලධාරීන්ට අවසර හිමිවනු ඇති.

එරට කලාප රැසක් දැනටමත් ඉහළම කොවිඩ් අවධානම් මට්ටම පසුකර අවසන්.

මෙම නව කොවිඩ් පාලන සීමා මාස 6කට දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස් පැවසුවේය.

ස්පාඤ්ඤයෙන් අද වන විට කොවිඩ් රෝගීන් 1,110,372ක් හඳුනාගෙන ඇති අතර, සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 34,752කි.

මේ අතර සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට 43,345,944ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පිරිස 1,159,093 කි.

මේ අතර, දෛනික ආසාදිතයන් හඳුනාගැනීමේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රංශයෙන් ඊයේ (25) කොවිඩ් ආසාදිතයන් 52,010 ක් හඳුනාගැණුනි.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,138,507ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 35,000කට ආසන්න වෙමින් තිබේ.

යුරෝපා කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ සෙසු රටවල් අතර ඉතාලිය, එක්සත් රාජධානිය, බෙල්ජියම, පෝලන්තය සහ නෙදර්ලන්තය ඉදිරියෙන් සිටියි.