40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කළ එස්.පී බාලසුබ්‍රමනියම්

කොවිඩ් වෛරසයට ගොඳුරු වී මියගිය ජනප්‍රිය ඉන්දීය ගායක එස්.පී බාලසුබ්‍රමනියම්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (26) සිදු කළහ.
 
පවතින කොවිඩ් අවදානම ද නොතකමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට චෙන්නායි නුන්ගම්බක්කම් හි පිහිටි ඔහුගේ නිවස වෙත විශාල පිරිසක් රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේහය පිළිබඳව අවසන් කටයුතු ඔහුගේ පවුලට අයිති ගොවිපලක අද සිදුකිරීමට නියමිතය.

එස්.පී බාලසුබ්‍රමනියම් අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කර තිබේ.

ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත්ය. 

ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිය.

එස්.පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙන් අනතුරුවය.

ඉන්දියාවෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්  ආසාදිතයන් ගණන ලක්ෂ 59 ඉක්මවයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව අනූ තුනදහසකට අධිකය.