29 වන දා සිට ආරම්භ කිරීමට සුදානම් වන උපකාරක පන්තිවල ගැටළු

වෘත්තීය ලෙස සේවය කරන ගුරුවරු මුහුණ පෑමට සුදානම් වන ගැටළු රැසක් ගැන මේ දිනවල කතා බහට ලක්වී තිබෙනවා.

ලබන 29 සිට උපකාරක පන්ති ද ආරම්භ කිරීමට රජය අවසර ලබාදුන්නේ උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා කරමින්. සිසුන් 100 දෙනෙකුට හෝ, අදාළ පන්ති කාමරයේ ඉගැන්වීම් පහසුකම් නොමැති ස්ථානවල හෝ උපකාරක පන්ති සඳහා සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවීමට ද අවසර ලබා දෙන බවයි එහි සඳහන් කර තිබුණේ.

ඒ අනුව මෙතෙක් පැවති ශාලාවල උපකාරක පන්ති පැවැත්වීම සහ ඒ සදහා සිසුන් තෝරා ගන්නේ කෙසේදැයි මේ වනවිට සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල සහ මහනුවර ඇතුළු ප‍්‍රධාන නගරවල ඇති බොහෝ උපකාරක පන්තිවල සිසුන් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවීමයි. වෘත්තීය දේශකවරුන් සඳහන් කරන්නේ සිසුන් දහසක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින උපකාරක පන්ති පැවැත්වීමේදී මෙම සීමා ප‍්‍රායෝගික නොවන බවයි. රජය ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ද ආරක්ෂා කරගනිමින් උපකාරක පන්ති පැවැත්විය යුතු බවයි.