ඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්

අද (14) උදෑසන 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනයට අදාළවයි.

ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා පැය 24 ක විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ඊයේ පස්වරු 6 සිට ආරම්භ කරනු ලැබුවේය.

ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම,මත්පැන් ප්‍රවාහනය,නිකරුණේ මාර්ගයේ ගැවසීම,අත්‍යවශ්‍ය සේවා පුවරුව අවභාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් එම කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අද උදෑසන 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1606 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එම කාලය තුළ වාහන 373 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 26,637ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 6799ක්.