වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ 28,394කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ 15,525 දෙනෙකු ද ඒ අතර වන බවයි. විශේෂයෙන් පානීය ජලයට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පානදුර, කළුතර සහ දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පුද්ගලයින් දෙලක්ෂ 12,728 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3697ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7959 දෙනෙකු සහ මහනුවර – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 1213 දෙනෙකු ද වියළි කාලගුණය නිසා බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.