කොරෝනා මරණ 132 දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇත.

අද , මැදපෙරදිග කළාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණි.

රටවල් 20කින් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000ක්. 

කෙසේ වෙතත් ඊයේ දිනයෙන් පසුව කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වූයේ නැහැ. 

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු බවට මෙරටදී හඳුනාගත් 43 හැවිරිදි චීන ජාතික කාන්තාව තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මේ අතර අදාළ චීන ජාතික කාන්තාව සංචාරය කළ මහනුවර, කොත්මලේ සහ නුවරඑළිය හෝටල් තුනක සේවක සේවිකාවන් සිව් දෙනෙකු ඊයේ සැකපිට මහනුවර ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුවට ඇතුළත් කර ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ,  ඇයට අමතරව තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූ බවට බවට සැකපිට අංගොඩ රෝහලට ඇතුළත් කර සිටින බවයි. 

ඒ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්,  චින ජාතිකයින් තිදෙනෙක් සහ එක් ඉන්දුනීසියානු ජාතිකයෙක්.

ඔවුන්ගේ ජීව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකෙරුණු අතර චීන ජාතික කාන්තාවගේ සහ තවත් දෙදෙනෙකුගේ වාර්තා මේ වනවිට ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, චීන ජාතික කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ අතර අනෙක් දෙදෙනාට වෛරසය ආසාදනය වී නැති බවයි. 

එමෙන්ම චීන ජාතිකයන් සේවයෙහි නිරත වැඩ බිම් රැසක් අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරික්ෂාවට ලක් කර ඔවුන්ට උපදෙස් ලබා දීම සිදු කෙරුණි.

චීනයේ ග්වැන්ෂෝහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 23 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය.

කොරෝනා වෛරසය තදින්ම බලපා තිබෙන චීනයේ වූහාන් නගරය වසා දමා අදට දින 7ක්.

නගරය වසා දැමූ දින සිට එහි සිටින ශ්‍රී ලාංකිකයින් තම දුෂ්කරතා පිළිබඳ දැනුම් දුන්නේ අද දෙරණ ඔස්සේයි.

ආහාර පාන ඇතුළු සේවාවන් ලබාගැනීම ඔවුන් මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය වෙයි.

මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් බරපතල ආපදා තත්ත්වයක් ශ්‍රී ලංකාවට බලනොපානු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය ගණන 132ක් ලෙස වාර්තා වන අතර  ආසාදිතයින් ගණන 6040 දක්වා වර්ධනය වී ඇත.

හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පමණක් ආසාදිතයන් 2500කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීන හමුදා මැදිහත්වී සිටියි.

චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වන හොංකොං නායිකා කැරී ලෑම් ප්‍රකාශ කළේ, චීන හොංකොං දේශසීමා වසා දැමූ බවයි. 

ඒ අනුව දේශ සීමාව හරහා අධිවේගී දුම්රිය ධාවනය මෙන්ම මුහුදු යාත්‍රා ගමනා ගමන කටයුතු ද අද සිට අත්හිටුවනු ඇති.

වූහාන් නගරයේ සිටි තම පුරවැසියන් ඉවත් කරගැනීමට ජපානය සහ අමෙරිකාව කටයුතු කර ඇත.

එම නගරයේ සිටින යුරෝපීය ජාතිකයින් ඉවත් කරගැනීම සඳහා ප්‍රංශය සිදුකළ ඉල්ලීමක් මත යුරෝපා කොමිසම ද ඊට මැදිහත්ව සිටියි.

බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව චීනය වෙත සෘජු ගුවන් සේවා ද අත්හිටුවීමට පියවර ගෙන ඇත.

රටවල් 20ක මේ වනවිට වෛරසයේ ආසාදිතයින් හමුවන අතර මැදපෙරදිග කලාපයේ පළමු කොරෝනා වෛරසය ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අද හඳුනාගත්තේය.

අදාළ පුද්ගලයා චීනයේ වූහාන් සිට මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංක්‍රමණය වූ චීන ජාතිකයෙකු බව සඳහන්.

චීනයේ වූහාන් ප්‍රාන්තයේ වෙළඳසැලක නීති විරෝධීව අලෙවි කෙරුණු වන සත්ව මාංශ පරිභෝජනය නිසා මිනිසුන්ට පැතිරුණු බවට සැකකෙරෙන කොරොනා වෛරසය ලෝක බලවතෙක් වන චීනයට මේ වෙද්දි සෞඛ්‍ය මෙන්ම ආර්ථික අභියෝග බොහෝමයක් එල්ල කර අවසන්. 

කොරෝනා වෛරසය යක්ෂයෙක් බවත් ඒ යක්ෂයාට සැඟව සිටීමට ඉඩ දිය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමඟ සාකච්ඡාවක නිරත වීමෙන් පස්සේ චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබුණේ මේ වගේ වාතාවරණයක.