පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ලංකාවට එන්න සුදානම්

එළඹෙන 23 වනදා පෙට්‍රල් නෞකාවක් සහ 24 වනදා ඩීසල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම එළඹෙන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම අත්‍යාවශ්‍ය සේවා සඳහා තෝරා ගත් පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියාසිටියා.

මේ අතර ඉදිරි දින 03 තුළ (ජූනි 20 – 21 – 22 දිනවල) ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවයි ඔහු කියාසිටියේ.
එමෙන්ම LIOC සමාගම සතුව පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් පවතින බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් යම් කිසි සීමාවකට යටත්ව පෙට්‍රල් තොග නිකුත් කිරීමට ඉදිරි දින කිහිපයේදී සිදුකරන අතර IOC සමාගමට තමන් සතුව ඇති පෙට්‍රල් සංචිතවලින් වැඩි ප්‍රමාණයක් වෙළෙදපොළට නිකුත් කිරීමට ඉල්ලීමක් සිදුකළ බව ද ඔහු කියසිටියා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙස සහ සාමාන්‍ය ජනතාව විනෝද ගමන් යෑමෙන් වලකින ලෙසයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලීමක් කළේ.

පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සීමා කොට හැකි තරම් නිවසේ සිට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා පවත්වාගෙන යන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා ඉල්ලා සිටින බව මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළා. අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී දැනුම් දුන්නේ, සියලු පෞද්ගලික බස් රථ සඳහා ආසන්නම ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බැවින් වෙනත් පිරවුම් හල් වෙත නොයන ලෙසයි. පෞද්ගලික ත්‍රී රෝද රථ හා යතුරුපැදි සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලබන සතියේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් හදිසි, අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන වෛද්‍ය කණ්ඩායම්වලට සහ පොලිස් නිල රථවලට ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.

අමාත්‍යවරයා පැවසුවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ලබන 24 වැනිදා දක්වා ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බවයි.

ලබන 29, ජුලි 10 හා 14 වෙනිදා බොරතෙල් රැගත් නෞකා දිවයිනට ළඟා වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.