හෙරොයින් නඩුවක රජයේ සාක්ෂිකරුවෙකුත් ඝාතනය කෙරේ

අලුත්ගම, මොරගොල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා 43න් හැවිරිදි තැඹිලි ව්‍යාපාරිකයෙකු වන බවයි. තම ලොරි රථයේ ගමන්කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

පොලීසිය පැවසුවේ, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් වෙඩිතැබීමට යොදාගෙන ඇතැයි සැක කරන බවය.

මොහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙහෙයවූ බවට පැවසෙන මත්ද්‍රව්‍යය ජාවාරමට අදාළ නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු බවට පොලීසිය සැක පළ කරයි. එමෙන්ම මොහු අදාළ හෙරොයින් තොගය රැගෙන ඒමට මුහුදු ගිය පුද්ගලයෙකු ලෙසද පොලීසියට සැකයක් මතුවී තිබේ.