පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් අද (07) දිවයින පුරා දේවස්ථානවලට කළු ඇඳුමින් සැරසී කතෝලික ජනතාව පැමිණ සිටින අයුරු දැකගත හැකිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් අද කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය තීරණය කර තිබුණි.

ඒ අනුව අද දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාවට කළු ඇඳුමින් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් මෙම විරෝධතාවන් දේශපාලනීකරණය නොකරන ලෙසට කොළඹ අගරදගුරු පදවිය සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

මෙම විරෝධතා සඳහා සහාය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර ඇති බව ද එම පක්ෂ නියෝජිතයන් සඳහන් කරයි.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව පසුගිය දා භාරදී තිබුණි.

අද දෙරණ