කුරහන්, නැත්නම් අපි කුරක්කන් (Finger millet) කියල හඳුන්වන ධාන්‍ය වර්ගය සිංහල අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. අතීතයේ ඉදන් කුරහන් හැලප, කුරහන් පිට්ටු, සහ කුරහන් කැද අපේ ආහාර රටාවේ තිබුණා.
කොහොම වුණත් වර්තමානය වෙනකොට නම් කුරහන් භාවිතය අවම වී ගෙන යන එක කනගාටුවට කරුණක්.
ඇයි කුරහන් වලට රන් කැටයක් කියන්නේ කියල දැන් ඔබ හිතනවා ඇති….. මේකේ තියන ගුණ නිසාම තමයි එහෙම කියන්නේ.
මේ කුරහන් වල 65-75% කාබෝහයිඩ්රේට්, 5–8% ප්‍රෝටීන්, 2.5–3.5% ඛනිජ ලවන සහ 15–20% තන්තු අඩංගු වෙනවා. ඒ වගේම කුරහන් කියන්නේ ධාන්‍ය අතරින් කැල්සියම් සහ පොටෑසියම් වැඩිපුරම තියෙන ධාන්‍ය වර්ගය වෙනවා. කුරහන් ග්‍රෑම් 100ක කැල්සියම් මිලිග්‍රෑම් 344ක්, සහ පොටෑසියම් මිලිග්‍රෑම් 408ක් පමණ තියෙනවා.
කුරහන් වල ගුණ ගත්තොත් මේක දියවැඩියාව සහිත රෝගීන්ට වඩාත් සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස සැලකෙනවා. මොකද මේකේ අඩු ග්ලූසමික් දර්ශකයක් (Low Glycemic Index) පවතින නිසා කුරහන් ආහාරයට ගත්තම රුධිරගත සීනි මට්ටම එකවර ඉහළ නොගොස්, සෙමින් රුධිරයට මුදා හරිනු ලබනවා. එබැවින් දියවැඩියා රෝගීන්ට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට අවශ්‍ය අයෙකුට කුරහන් කදිම ආහාරයක්.
කලින් කිව්වා වගේ ධාන්‍ය අතරින් වැඩිපුරම කැල්සියම් තියෙන්නේ කුරහන් වල නේ. ඉතින් කුඩා දරුවන්ගේ අස්ථි සහ දත් වර්ධනයට මෙන්ම, වයස්ගත වීමත් සමඟ ඇති වන අස්ථි දුර්වල වීම (Osteoporosis) වැනි රෝගී තත්ත්වයන් වළකා ගැනීමට දිනපතා කුරහන් ආහාරයට ගැනීම ඉතා ගුණදායක වනවා.
කුරහන් වල ඇති අධික තන්තු (Fiber) ප්‍රමාණය නිසා ආහාරයට ගත් පසු දිගු වේලාවක් කුස පිරී තිබෙන හැඟීමක් ඇති කරයි. එමඟින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම පාලනය වන අතර, ශරීරයේ බර අඩු කර ගැනීමට හෝ පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයටත් කුරහන් ඉතාමත් හොඳ ආහාරයක් වෙනවා.
කුරහන් වල අඩංගු ඇමයිනෝ අම්ල සහ තන්තු මඟින් ශරීරයේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩු කිරීමට උපකාරී වේ. මෙය හෘද රෝග ඇති වීමේ අවදානම අවම කිරීමට සහ හෘදයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උදව් වෙනවා.
ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩුකමින් පෙළෙන අයට සහ රක්තහීනතාවය ඇති අයට කුරහන් වල අඩංගු ස්වභාවික යකඩ (Iron) මගින් එම තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්.
ඒ වගේම තමයි කුරහන් වල විවිධ ප්‍රතිඔක්සිකාරක සහ ෆීනෝලික් සංයෝග අඩංගු වනවා. මේවා ශරීරයේ සෛල වලට හානි කරන නිදහස් රැඩිකල් (Free radicals) උදාසීන කරමින්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහ සම රැක ගැනීමට උපකාරී වේ.

