ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට දැනුම්දීමක්

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුනා.

එහිදී  විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවය.

මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටී.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී සිටී. 

දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි නොවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතය. 

අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටී.

එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.