හෙට සිට නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

හෙට දින (ජූලි මස 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දිනයෙදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේ සහ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.