උතුම් වූ තෙමඟුල සිදු වූ පිංබර වෙසක් පොහෝ දිනය අදයි

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සිදුහත් බෝසතාණන් වහන්සේ කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව එළිය දැකීම, අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කර, සියලු කෙලෙසුන් නසා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බවට පත්වීම, මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම යන්න තෙමඟුල ලෙස හඳුන්වනවා.

මේ හැරුණු කොට වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසකට ද මුල්වී ඇත.

එනම් සුමේධ තාපසයාණන් දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, කිඹුල්වත් නුවරට වැඩම කර ඥාතීන්ගේ මානය දුරු කිරීම සඳහා යමා මහා පෙළහර පෑම , බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ලංකාගමනය යටතේ කැලණියට වැඩම කිරීම සිදුව ඇත්තේ ද වෙසක් පොහෝ දිනයක වනවා.

මෙලෙස ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් බැතියෙන් යුතුව සමරනු ලබයි.