ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා දීම ඔස්ට්‍රේලියාව නවතයි

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. 

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඉරානයේ සිට පැමිණෙන තාවකාලික අමුත්තන් ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසු නැවතත් සිය රට බලා යාමට “නොහැකි හෝ අකමැති වීමේ” වැඩි ප්‍රවණතාවක් පැවතීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තහනම හෙට සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි මාස හයක කාලය සඳහා බලපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ පදිංචි දරුවන් සිටින ඉරාන ජාතිකයන්ට සහ දිගුකාලීන වීසා හිමියන්ට පැමිණීමට අවස්ථාව හිමි වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.