ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ තොගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) විසින් ‘ආයුධ අපනයන පාලන පනත’ (Arms Export Control Act) යටතේ පවතින විශේෂ හදිසි බලතල භාවිතා කරමින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම ගනුදෙනුවට රාත්තල් 1,000ක බරින් යුත් බෝම්බ 12,000ක්, රාත්තල් 500ක බෝම්බ 10,000ක් සහ තවත් කුඩා ප්‍රමාණයේ බෝම්බ 5,000ක් පමණ ඇතුළත් වනවා.

කලාපය තුළ මේ වන විට උත්සන්න වී ඇති යුධමය තත්ත්වය හමුවේ, ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතා සලකා බලා මෙම හදිසි පියවර ගත් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.