අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් මැද දක්වා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

මේ අතර අද පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ උපරිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී ඇත. එහි අගය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.