අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, අද සිට වැසි තත්ත්වයේ අඩුවක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.