පොංගල් සමරන්න ජනපති අද යාපනයට

තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා ජනපතිවරයා සහභාගී වීමට නියමිතයි.

එසේම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින්මනිපායි මරුතඩි විනායහර් කෝවිලේ සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ‘තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක්’ යන තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (15) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එම ජනතාව අතරට යුද්ධය හේතුවෙන් තවමත් නිවාස අහිමිව සිටින උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් 2,500ක්ද ඇතුළත්.

මෙම වැඩසටහන යාපනය චාවකච්චේරිය, වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා.