දින නවයට ඩෙංගු රෝගීන් 2,420ක්

මෙරට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ඊයේ (09) දින දක්වා ගතවූ දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වී ඇති බවය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය ඩෙංගු 1,317ක් ලෙස දැක්වෙනවා.

දැනට පවතින වර්ෂාපතනය සහ ඇතිවූ ආපදා තත්ත්වය මෙම ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමට බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුරෝකථන අනුව ඉදිරි කාලයේදීත් වර්ෂාපතන තත්ත්වයන් පෙන්නුම් කරන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මෙන්ම මදුරුවන් බෝවීම වළක්වා ගැනීමද අත්‍යවශ වන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.