ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය අනිද්දා

ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පවත්වන ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී අනිද්දා උදෑසන 8.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනවා.

2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000කට අධික පිරිසක් මියගිය අතර 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා.