නත්තල් කාලයට මුළු ගෙදරම සුවඳ කරන Cinnamon Rolls

නත්තල දැන් ළඟටම ඇවිත් නේ තියෙන්නේ….. ඉතින් නත්තල් කාලේ මුළු ගෙදරම සුවඳ කරන්න පුළුවන් හරිම රසවත් කෑමක් තමයි Cinnamon Rolls කියන්නේ.

මෙන්න මේ ලේසි රෙසිපි එකට ඔයාලත් මේ නත්තලේ Cinnamon Rolls හදල බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය –

පිටි මිශ්‍රණය සඳහා:

  • පාන් පිටි ග්‍රෑම් 300 (කෝප්ප 2 ½ ක් පමණ)
  • ඊස්ට් (Instant Yeast) තේ හැඳි 1 ½
  • මද උණුසුම් කිරි මිලිලීටර් 120 (කෝප්ප ½ ක් පමණ)
  • සීනි මේස හැඳි 3
  • බටර් මේස හැඳි 2 (දියකරගත්)
  • බිත්තර 1
  • ලුණු ස්වල්පයක්

ඇතුළත පිරවුම (Filling) සඳහා:

  • බටර් මේස හැඳි 3 (කාමර උෂ්ණත්වයේ තිබෙන)
  • සීනි මේස හැඳි 4 (දුඹුරු සීනි නම් වඩා හොඳයි)
  • කුරුඳු කුඩු (Cinnamon powder) මේස හැඳි 1 ½

සාදාගන්නා ක්‍රමය (Step-by-Step)

  1. භාජනයකට මද උණුසුම් කිරි, සීනි සහ ඊස්ට් දමා විනාඩි 5ක් පමණ පිපෙන්නට හරින්න. පසුව එයට බිත්තරය, බටර්, ලුණු සහ පිටි එකතු කර හොඳින් අනා ගන්න. පිටි මෝලිය අතේ නොඇලෙන මෘදු පදමකට එන තෙක් විනාඩි 10ක් පමණ හොඳින් අනා ගන්න.
  2. පසුව පිටි මෝලිය තෙල් ස්වල්පයක් තැවරූ භාජනයක දමා, රෙදි කඩකින් වසා උණුසුම් ස්ථානයක පැයක් පමණ තබන්න. එය ප්‍රමාණයෙන් දෙගුණයක් වන තුරු තියන්න ඕනේ.
  3. සීනි සහ කුරුඳු කුඩු වෙනම බඳුනක මිශ්‍ර කර පසෙකින් තබන්න. මේක ඕනේ වෙන්නේ අපේ පිරවුමට.
  4. පිපුණු පිටි මෝලිය ගෙන වාතය ඉවත් කර, ලෑල්ලක් මත පිටි ස්වල්පයක් ඉස සෘජුකෝණාස්‍රාකාර හැඩයට රෝලින් පින් එකකින් තුනී කරන්න. දැන් එහි මතුපිට බටර් තවරා, සාදාගත් සීනි සහ කුරුඳු මිශ්‍රණය ඒ මත ඒකාකාරව ඉසින්න.
  5. ඊට පස්සේ පිටි තට්ටුව එක කොනක සිට රෝල් කරන්න. දැන් නූලක් හෝ පිහියක් භාවිත කර අඟලක පමණ පළල කැබලි වලට කපා ගන්න.
  6. බේකින් තැටියක බටර් ගා, සාදාගත් රෝල්ස් එකිනෙක නොගෑවෙන සේ තබා නැවත විනාඩි 20ක් වසා තබන්න.
  7. දැන් සෙල්සියස් අංශක180 ට රත් කළ Oven එකක විනාඩි 20-25ක් රන්වන් පැහැ වන තුරු bake කර ගන්න.

මේක oven එකෙන් එළියට ගත්ත ගමන් ඒක උඩට අයිසින් සීනි හෝ milkmaid තවරා ගැනීමෙන් මේකේ රස තවත් වැඩි කර ගන්න පුළුවන්.