නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් හඳුනා ගනී

නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නැවත පදිංචි කර ඇත.

අදාළ ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අවධාරණය කරන්නේ.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් හරහා දිස්ත්‍රික් ලේකම් ඔස්සේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබෙන සිදුවීම් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත අධ්‍යයනය කරන බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඊයේ (08) සවස 4ට දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ස්නාධාන් කරනවා.

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට අදියර 2 යටතේ අවදානම් සිටින ලෙස ද නිවේදන නිකුත් කර තිබේ.

එසේම අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට වූ නිවේදනය තවත් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කට අදාළව නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසා සිටියේය.

ඊශානදිග මෝසම් වැස්ස යම් තරමකට ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බැවින් අනතුරුදායක ස්ථානවල සිටින ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙසත් ආරක්ෂිත ස්ථාන වෙත සිටින ජනතාව එම ස්ථානවලම රැඳී සිටින ලෙසත් පවසා සිටි ඒ මහතා, අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින ලෙසත් පැවසීය.

එසේ නොමැති වුවහොත් ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි බව ද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේය.