පිරිසිදු කර ගැනීමේ රු.25,000 දීමනාව ආගමික සිද්ධස්ථානවලටත්

පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙම සතියේ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නා බවයි ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

එසේම යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු‍ ප්‍රතිසංස්කරණ මේ මස 31 වැනිදාට පෙර නිම කරන ලෙස හෙතෙම උපදෙස් ලබා දෙනු ලැබුවා.

මේ අතර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නා.