මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් (ICT) විසින් හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් පැවති කැරැල්ල මර්දනය කිරීමට නියෝග කිරීමේ චෝදනාවට මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණා.
ඇයට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2024 වසරේ ඇති වූ සිසුන්ගේ විරෝධතා මර්දනය කිරීමේ “ප්‍රධාන සැලසුම්කරු සහ ප්‍රධාන නිර්මාතෘ” ලෙස කටයුතු කිරීමයි.
බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වා ඇත්තේ ඇය නොමැතිවයි.
මේ අතර හසීනා තීන්දුවෙන් පසු පිටු පහකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම මරණ දඬුවම අන්තර්වාර රජය විසින් තම පක්ෂය වන ‘අවාමි ලීගය’ දේශපාලන බලවේගයක් ලෙස අහෝසි කිරීමේ ක්‍රමයක් බවයි.
ඇය සියලු චෝදනා “විකට අධිකරණයක” නඩුවක් ලෙස හඳුන්වමින් ඒවා මීට පෙර ද ප්‍රතික්ෂේප කර තිබුණා.
“සාක්ෂි සාධාරණව කිරා මැන බැලිය හැකි නිසි අධිකරණයකදී මගේ චෝදනාකරුවන්ට මුහුණ දීමට මම බිය නොවෙමි,” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇති අතර, මෙම චෝදනා හේග්හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඉදිරියට ගෙන එන ලෙස අන්තර්වාර රජයට අභියෝග කර තිබෙනවා.
ඇය වැඩිදුරටත් “මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳව මගේ රජයේ වාර්තාව ගැන මම ඉතා ආඩම්බර වෙමි.” යනුවෙන්ද සඳහන් කර තිබුණා

